සුරක්ෂිතලත් ගනුදෙනු ලේඛණ පද්ධති සේවාව
ශ්‍රි ලංකාව තුල චංචල දේපළ මත සුරැකි ගනුදෙනු (ණය ගනුදෙනු ) සඳහා සීමාවන් පවති
  • පවත්නා වාණිජ කොන්දේසි හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට (SME) ණය පහසුකම් සඳහා ප්‍රවේශවීමට ඇති ඉඩකඩ අයුතු ලෙසින් සිමා වී ඇත. ආවේණික ඉහළ අවදානම සහ ගනුදෙනු පිරිවැය හේතුවෙන්, චංචල දේපළ (moveable assets) මත සුරක්ෂිත වු මුල්‍ය පහසුකම් සැපයිම ප්‍රචලිත නැත. ව්‍යාපාර සඳහා ණය පහසුකම් සැපයිමේදී බොහෝ විට ඉඩකඩම් , ගොඩනැගිලි ආදී නිශ්චල දේපළ සඳහා පමණක් විශ්වාසනීය සුරැකුම් වටිනාකමක් ලැබේ. මේ හේතුවෙන් එවැනි වත්කම් බහුලව හිමි මහා පරිමාණ ව්‍යාපාරිකන් වෙත ණය සැපයිමේ නැඹුරුතාවයක් ඇති වේ.
  • චංචල දේපළ මත ණය සැපයිමේදී ණය පැහැර හැරීම් හා බලාත්මක කිරීම් වෙනුවෙන් ඉතා ඉහල අවධානමක් දැරීමට ණයහිමියන්ට සිදුවේ. චංචල දේපළ ලියාපදිංචි කිරිමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතාවයන් හේතුවෙන් එකම වත්කම ණයහිමියන් කිහිපදෙනෙකු වෙත සුරකුම් ලෙස ඉදිරිපත් වීම, පොදු ලක්ෂණයක් ලෙස දැක්විය හැක. අධිකරණ ක්‍රියාමාර්ග තුලින් ගෙවීම් කල් දැමිමේ හැකියාව ණයගැතියාට පවතින බැවින් ණයහිමියාට අවාසිදායක වන ආකාරයේ ණය පියවීම් වෙත යොමු විමේ නැඹුරුවක් පවති. ආවේණික ගණුදෙනු පිරිවැයද ඇතුලත්ව මෙකී සියලු සාධකයන්හි ප්‍රතිඵලයක් ලෙස චංචල දේපළ මත ලබා ගත හැකි ණය සිමාවී ඇති අතර ඒ ආශ්‍රිත වු ණය සේවාකරණ පිරිවැයද ඉහල ගොස් ඇත.
  • මෙවැනි තත්වයක් තුල ව්‍යවසායකයන්හට වටිනාකම් මුලාශ්‍රයක් විය හැකිව තිබු චංචල දේපළ වෙනුවෙන් ඔවුන් කරන ලද ආයෝජන අක්‍රීය ප්‍රාග්ධනයක් (Dead Capital) බවට පත් වි ඇත. චංචල දේපළ සුරැකුම් ලෙස තබාගෙන මුල්‍ය පහසුකම් ලබාදීම සඳහා ක්‍රමවත් වූ ආයතනික හා නීතිමය රාමුවක් වෙළඳපල තුල නොපැවතීම මෙයට ප්‍රධානම හේතුව වි ඇත.

 

නමුත් නිශ්චල දේපළ පාදක කරගත් මුල්‍ය පහසුකම් සඳහා එයට ආවේණික වු ආයතනික හා නීතිමය ව්‍යුහයක් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය හරහා පවතින බැවින් එම මුල්‍ය ගනුදෙනු වඩා විශ්වාසී හා ආකර්ෂණීය බවින් යුක්තව මුල්‍ය වෙළඳපල තුල ප්‍රචලිත වී ඇත.

සුරක්ෂිතලත් ගනුදෙනු පද්ධතියක් (Secured Transactions System) යනු කුමක්ද?

චංචල දේපළ (Moveable assets) සහ අස්පෘශ්‍ය සමපාර්ශ්වීය (Intangible assets) ද්‍රව්‍ය සුරක්ෂිත ලෙස සලකා ප්‍රදානය කරණු ලබන මුල්‍ය පහසුකම් ප්‍රචලිත හා ප්‍රසාරණය කිරිම, සුරක්ෂිතලත් ගනුදෙනු පද්ධතියක (Secured Transactions System) සමස්ත කාර්යභාරය ලෙස සරලව හැදින්විය හැක. මෙම කාර්යය නිසියාකාරව ඉෂ්ට කිරිම සදහා පහත සදහන් ලක්ෂණ වලින් සමන්විත ක්‍රමවේදයක් අවශ්‍ය වේ.

  • සුරකුම් බැඳියාව (Security interest) නිර්මාණය කිරිම සදහාසරල සහ පරිපූර්ණ නීති රීතින්.
  • පිරිවැය අවම වේගවත් ලියාපදිංචි කිරිමේ පද්ධතියක් තුලින් නිශ්චිත සහ විශ්වාසනීය දැන්වීම් සැපයීම.
  • ණය පැහැරහැරීමක් වූ අවස්ථාවකදී සුරැකුම් පවරා ගැනීම හා බලාත්මක කිරීම සඳහා එලදායි ක්‍රියාපරිපාටින් සහ ආරක්ෂණයන් පැවතීම.

 

විශාල ප්‍රමාණයක් වු ව්‍යවසායන් (සුළු හා මධ්‍ය පරිමාණ) සහ පුද්ගලයන් වෙනුවෙන් මුල්‍ය පහසුකම් සුලභ කිරිම තුලින් හරවත් හා තිරසාර ආකාරයේ මුල්‍ය වෙළඳපළ පුළුල් වීමකට, ඉහත සදහන් ආකාරයේ ක්‍රමවත්ව ක්‍රියාත්මක වන සුරක්ෂිතලත් ණය ගනුදෙනු ක්‍රමවේදයක් පැවතීම එවැන්නක් නොපවතින තත්වයකට වඩා පිටිවහලක් වේ.

සුරක්ෂිතලත් ගනුදෙනු ලේඛනය යනු කුමක්ද?

ආයතන හා පුද්ගලයන් සතු චංචල දේපල සම්බන්ධයෙන් සුරක්ෂිතලත් ණය හිමියන්ගේ (මුල්‍ය ආයතන, කල්බදු සමාගම් සහ පුද්ගලික ණය හිමියන්) සුරකු බැඳියාව දැනුම්දීම පිණිස පවත්වාගෙන යනු ලබන ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවක් හෝ දෘඩ පිටපත් කාර්යාලයක්, සුරක්ෂිතලත් ගනුදෙනු ලේඛනයක් (Secured transactions Register) ලෙස හැඳින්විය හැක. සුරක්ෂිතලත් පාර්ශවයන්ගේ සුරකු බැඳියාව පරිපුර්ණ කිරිමටත් ණයගැතියන්, බදු ගැණුම්කරුවන් ආදි වු පාර්ශවයන් සතු චංචල දේපළ කෙරෙහි පවතින සුරකු බැඳියාවේ ප්‍රමුඛතාවයන් ස්ථාපනය කිරිමටත් එය පිටිවහල් වේ. පවතින සුරකු බැඳියාවන් පිළිබද පසු ගැනුම්කරුවන්, අනාගත ණය හිමියන් දැනුවත් කිරිම හා සුරකු බැඳියාව පරිපුර්ණ කර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකිවීම මෙම ක්‍රමයේ අනෙකුත් අරමුණු වේ.

එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
  • මෙම ලියාපදිංචි කිරිමේ ක්‍රමවේදයට අනුව, සිය ගනුදෙනු කරුවන්ට හිමි චංචල දේපළ සුරකුම් ලෙස සලකා ඔවුනට මුල්‍ය පහසුකම් ප්‍රදානය කරන ණයහිමියන් එකි ණය ගනුදෙනුවෙහි ප්‍රතිඑලයක් ලෙස නිර්මාණය වන්නා වු සුරකු බැඳියාවන් ඔවුන් විසින්ම ලියාපදිංචි කරනු ලැබේ.
  • එ අනුව සුරකුම් ලෙස සලකනු ලබන භාණ්ඩ ණයහිමියාගේ භාරයට පත් නොවන අතර අදාල දේපළ මත ඔවුන්ගේ සුරකු බැඳියාව නීතිමය වශයෙන් බලාත්මක කිරිමක් පමණක් සිදු වේ.
  • එසේම ණය ගෙවීම් පැහැර හැරි අවස්ථාවන්හි එකි දේපළ විකුණා අදාල ණය මුදල් අය කර ගැනිම සඳහා වු නීතිමය හිමිකම සුරක්ෂිත කිරිමද මෙමගින් සිදු වේ.
  • යම් පුද්ගලයකු පුර්ව සුරකු බැඳිම් සහිත භාණ්ඩයක් හෝ දේපළක් මිලදී ගතහොත් ගැණුම්කරුගේ හිමිකමද එකි සුරකු බැඳිම් වලට යටත් වන බව යෝජිත නීති සම්පාදනයේ දැක්වේ. එබැවින් යම් භාණ්ඩයක් මිලට ගැනීමට ප්‍රථම එම භාණ්ඩය අන් පාර්ශවයන් විසින් ලියපදිංචි කරන ලද පුර්ව සුරකු බැදීම් වලින් තොර බවට තහවුරු කරගැනිම සියලුම ගැනුම්කරුවන්ගේ යහපතට හේතු වේ.
චංචල සමපාර්ශ්වීය ද්‍රව්‍ය ලෙස පොදුවේ භාවිතා වන දේපළ වර්ග මොනවාද?
  • පෞද්ගලික දේපළ - මූර්ත වත්කම් (ඉඩකඩම් ආදි නිශ්චල දේපළ) නොවන අනෙකුත් දේපළ (උදා යන්ත්‍රෝපකරණ, භාණ්ඩ ),
  • වෙනස් කළහැකි දේපළ - සමහර අවස්ථා වලදී නිශ්චල දේපළ පෞද්ගලික දේපළ බවට පත්විය හැක (උදා. නෙලාගත් අස්වනු),
  • අස්පෘශ්‍ය වත්කම් - (උදා. ලැබියයුතු අගයන්, තැන්පතු ගිනුම්, බලපත්‍ර හිමිකම්, බුද්ධිමය දේපළ හිමිකම්),
  • ගණුදෙණු කලහැකි ලියවිලි (උදා. පොරොන්දු පත්‍ර, විනිමය බිල්, තොග පත්‍ර, ගුදම් ලදුපත්)
  • ලද වටිනාකම් - සුරකු බැදීම් සහිත භාණ්ඩ විකිනිම හෝ හුවමාරු කිරිම තුලින් ණයගැතියකු ලබන වත්කම් (උදා. ණය පහසුකමක් වෙනුවෙන් සුරක්ෂිතයක් ලෙස ඉදිරිපත් කර තිබු යන්ත්‍රයක් විකිනීමෙන් ණයගැතියා ලැබු මුදල්).
2009 අංක 19 දරන සුරක්ෂිතලත් ගනුදෙනු පනත:

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා ගැනීමට ඇති අවස්ථාවන් වැඩි දියුණු කිරීම තුලින් ජාතික ආර්ථීකයේ සුභසිද්ධිය හා ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2009 අංක 19 දරන සුරක්ෂිතලත් ගණුදෙනු පනත (Secured transactions Act) පාර්ලිමේන්තුවේදි සම්මත කරන ලදී.

පහත සඳහන් අරමුණු මෙම පනත හඳුන්වාදීමේ සුවිශේෂ පරමාර්ථයන් ලෙස දැක්විය හැක;

  • මෙම පනතෙහි 2 වන හා 3 වන වගන්ති වලින් හඳුනාගනු ලැබු සමපාර්ශ්වීය ද්‍රව්‍ය, මෙහි නිශ්චිතවදක්වා ඇති ආකාරයට ප්‍රයෝජනයට ගැනීම තුලින් මෙම පනතේ 2 වන වගන්තියේ නිශ්චිතව දක්වා ඇති යම් ඔඩපනයක්, උකසක් හෝ වගකීමක් සුරක්ෂිත කිරීම සඳහා වු මෙම නව විධිවිධානයන්ගේ අරමුණ වන්නේ යන්ත්‍රෝපකරණ, පොත් ණය (Book debts), වෙළඳ තොග යනාදී වු පහසුවෙන් විකිණිය හැකි චංචල දේපළ සුරැකුම් ලෙස සළකා සපයනු ලබන ණය පහසුකම් ප්‍රසාරණය කොටව්‍යාපාරික කටයුතු ප්‍රවර්ධනය කිරිම වේ.
  • පහත සඳහන් පරමාර්ථයන් උදෙසා සුරක්ෂිතලත් ගනුදෙණු ලේඛනයක් ස්ථාපනය කිරීම හා එය පවත්වාගෙන යාම.
    • චංචල දේපළවලට අදාල පුර්ව සුරකු බැදිම් සම්බන්ධව මුල්‍ය ආයතනවලට තොරතුරු සැපයිම මගින් ඔවුනට නිවැරදි හා දැනුවත් ව්‍යාපාරික තීරණ ගැනීමට පහසුකම් සැලසීම.
    • ණයගැතියන් සතු චංචල දේපල කෙරෙහි සුරක්ෂිතලත් ණයහිමියන්ට පවතින සුරකු බැඳියාව, ගැණුම්කරුවන්ට අනාගත ණයහිමියන්ට සහ බුන්වත් ණයගැතියන්ට එරෙහිව පරිපුර්ණ කිරිමට ක්‍රමවේදයක් සැපයිම.

 

සුරක්ෂිතලත් ගණුදෙනු පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන යාම සහ ඒ හා සම්බන්ධ ආනුෂංගික කරණා සඳහා විධිවිධාන සැලස්වීම පිණිස වු පනත 2009 සැප්තැම්බර් මස 25 වන දින සහතික කරන ලද අතර 2011 අගෝස්තු මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. එම විධිවිධානයන් 2011 අගෝස්තු මස 5 වන දින රජයේ ගැසට් පත්‍රයේ පල කරන ලදී.

පහත සඳහන් ආකාරයේ ගණුදෙනු වලට එළැඹි ඕනෑම පුද්ගලයකු එම ගනුදෙනු මෙම පන්තේ 2 වන වගන්තියට අනුව සමපාර්ශ්වීය ද්‍රව්‍ය මගින් සුරක්ෂිත කිරිම සඳහා හිමිකම් ලබයි.

  • යම් චංචල දේපළක් ඔඩපනය කරන හෝ එවැනි දේපලක් මිලදී ගැනීමේ ගිවිසුමකට, කොන්දේසි සහිත පැවරුමකට, මුල්‍ය කල්බදු ගිවිසුමකට ඇතුළත් වන හෝ උකස් කරන, භාණ්ඩ තොග පිළිබඳ ගෙවීම් සම්බන්ධයෙන් වු ගිණුම් හෝ වෙනත් අයිතිවාසිකම් පැවරුමකට ඇතුළත් වන; හෝ
  • ගිණුම් සහ පුද්ගලික දේපළ පත්‍ර විකිණීමේ ගිවිසුමකට ඇතුළත් වන; හෝ
  • අවුරුදු එකක් ඉක්මවනු ලබන කාල සීමාවක් සඳහා බදු ගිවිසුමකට ඇතුළත් වන; හෝ
  • 1990 අංක 14 දරන දේශිය භාර ලදුපත් පනතේ 2 වන වගන්තිය ප්‍රකාර යම් පොරොන්දුවක් දෙනු ලබන; හෝ
  • භාර ලදුපත් ආඥා පනතේ 2 වන වගන්තිය ප්‍රකාර ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ තොග සම්බන්ධයෙන් පොරොන්දුවක් දෙනු ලබන.

 

එසේ වුවද, පහත සඳහන් ගනුදෙනු මේ පනතේ විධිවිධාන අදාළ වීමෙන් මුක්තිය ලැබිය යුතුය;

  • සේවා නියුක්තිකයකුගේ වන්දි සඳහා වන ඉල්ලිමක් පැවරීම;
  • ව්‍යාපාරයක කොටසක් විකිණීම තුළින් පැන නගින, ගිණුම් හෝ පුද්ගලික දේපළ පත්‍ර විකිණීම;
  • එකතු කිරීමේ කාර්යය සඳහා පමණක් උපකාරි වන ගිණුම් හෝ පුද්ගලික දේපළ පත්‍ර පවරා දීම;
  • ගිවිසුමක් යටතේ වන, පැවරුම්ලාභියකු වෙත ගෙවීමේ අයිතිය පවරාදීමේ වගකීමක්; සහ
  • පිළිවෙලින් 2009 අංක 8 දරන මෝටර් වාහන පනත, 1979 අංක 52 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනත, 1971 අංක 52 දරන වෙළෙද හා නාවික පනත, සහ 2002 අංක 34 දරන සිවිල් ගුවන් සේවා අධිකාරිය පනත යටතේ භාණ්ඩ ලියාපදිංචි කර ඇති විටක, උපකරණ හෝ පාරිභෝගික භාණ්ඩ වශයෙන් ණයකරු සතුව පවත්නා භාණ්ඩවල යම් බැඳියාවක් පැවරීම.
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ කාර්යයභාරය;

1990 අංක 18 දරන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පනත යටතේ පිහිටවනු ලැබු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (මෙහි මින් මතු "කාර්යාංශය" යනුවෙන් හඳුන්වනු ලබන ) විසින් මෙම පනතේ කාර්යය සඳහා (මෙහි මින් මතු "ලේඛනය" යනුවෙන් හඳුන්වනු ලබන) සුරක්ෂිතලත් ගනුදෙනු ලේඛනයක් පවත්වාගෙන යා යුතු බව පනතෙහි 7.1 වන වගන්තියෙහි සඳහන්ව ඇත.

එම කාර්යය සඳහා අවශ්‍ය වන සියලු යටිතල පහසුකම් වලින් සමන්විත වු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය වෙත පනතෙහි ප්‍රකාරව පහත සඳහන් කාර්තව්‍යයන් පැවරී ඇත.

  • අමාත්‍යවරයාගේ නිර්දේශයන් පරිදි සුරක්ෂිතලත් ගනුදෙනු ලේඛනය පවත්වාගෙන යාම සහ චංචල දේපළවල සුරකු බැඳියාව එකී ලේඛනයේ ලියාපදිංචි කිරීමේ කාර්ය පටිපාටිය නියමිත ආකාරයට පවත්වාගෙන යාම;
  • පනතේ 2 වන වගන්තියෙහි නිශ්චිතව දක්වා ඇති යම් තැනැත්තකු විසින් සමපාර්ශ්වීය ද්‍රව්‍ය සඳහා වන සුරකු බැඳියාවන් පිළිබඳව ගොනුකර ඇති දැන්වීම් ලියාපදිංචි කිරීම;
  • විනිශ්චිත ණයහිමියකුගේ හිමිකම් පිළිබඳ දැන්වීම් ලියාපදිංචි කිරීම; සහ
  • සියලු, කල් ඉකුත් වූ දැන්වීම්වල එම කල් ඉකුත් වූ දින සිට වර්ෂ දහයක කාල සීමාවක් සඳහා වාර්තාවන් පවත්වාගෙන යාම.

 

1. සුරක්ෂිත ලත් පාර්ශවයක් නැතහොත් ණයහිමියෙක් සම්බන්ධයෙන් සමපාර්ශ්වීය ද්‍රව්‍ය මගින් සුරක්ෂිත කරනු ලැබු ණයක් පැවතීම පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා, කාර්යාංශය වෙත ඉල්ලිමක් කරන යම් තැනැත්තකු වෙත, එම තොරතුරු සැපයිම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදනන් පනතේ දක්වා ඇත.

ලේඛනයේ ගොනුකර ඇති මුලික දැන්වීමක් සංශෝධනය කල හැකි බවත් එය සිදු කල හැකි ආකාරයත් ගොනුකර ඇති දැන්වීමක වලංගුභාවයත්, මුලීකව වසර පහක කාලසීමාවකට පමනක් වලංගුභාවයක් හිමිවන මුලීක දැන්වීමක් වලංගුභාවය දීර්ඝ කිරීම හෝ අවසන් කිරීම කලයුතු අකාරයත් පිළිබඳ විධිවිධානයන් පනතේ සඳහන් වේ.

2. එබැවින් මේ සම්බන්ධව කාර්යාංශයේ වගකීම වන්නේ හුදෙක් ලේඛනයේ කටයුතු පරිපාලනය කිරිම වේ. මුලික දැන්වීම්, සංශෝධනයන්, අඛණ්ඩතාවය පිළිබඳ ප්‍රකාශයන් හෝ අවසන් කිරිමේ ප්‍රකාශයන් ලියාපදිංචි කිරිමට අවශ්‍ය කටයුතු සැලැස්වීම හා එකී ගොනු කරන ලද සෑම දැන්වීමක් සඳහාම අනන්‍ය අංකයන් ලබා දී, ගොනුකරන ලද දිනය හා වේලාව ද ඇතුලත්ව වාර්තාවන් පවත්වාගෙන යැම සහ මහජනතාව විසින් ඉල්ලුම් කල විටකදි එම තොරතුරු මත පදනම්ව පිරික්ෂුම් වාර්තාවන් සැපයිම කාර්යාංශය විසින් සිදුකල යුතුය.

කාර්යාංශය විසින් අදාල තොරතුරු පරිඝණකගත දත්ත සමුදායන් ලෙසින් තබා ගන්නා බැවින්, සුරක්ෂිතලත් පාර්ශවයන්ට සිය දැන්වීම් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ තොරතුරු සම්ප්‍රේශණය ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් සිදු කල හැකිය. එසේම එලෙස ගොනු කරන ලද දැන්වීම් සම්බන්ධ තොරතුරු වෙනත් ඕනෑම පුද්ගලයකුට පරිඝණක පද්ධතීන් හරහා පිරික්ෂිය හැක.

3. කාර්යාංශය මගින් පවත්වාගෙන යනු ලබන ලේඛනයේ දැන්වීමක් ගොනු කිරිමේ ප්‍රථිඵලය වනුයේ, චංචල දේපළ / සමපාර්ශ්විය ද්‍රව්‍යයන් සම්බන්ධව උකස් හෝ බැදීම් පැවතීම හෝ නොපැවතීම පිළිබඳව අවසාන හා තීරණාත්මක සාක්ෂියක් සැපයිමයි. එසේම ණයදෙන ආයතනයන්ගෙන් ණය පහසුකම් ලබා ගැනීමේදී චංචල දේපළ සුරක්ෂිතයන් ලෙස භාවිතා විම වර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමද මෙමගින් සිදුවේ.

4. සුරකු බැදීම් පිළිබඳ දැන්වීමක්, ලේඛනයේ ලියාපදිංචි කිරිමට ප්‍රථම අදාල ණයගැතියාගේ කැමැත්ත ඒ සඳහා ලබා ගත යුතුය.