ඉතිහාසය

1990 අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත (1995 අංක 08 සහ 2008 අංක 42 ලෙස සංශෝධනයට ලක්ව ඇත) යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, දකුණු ආසියාවේ පිහිටුවන ලද පළමුවන ණය තොරතුරු කාර්යාංශයයි. 1980 දශකයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ පැන නැගුනු මූල්‍ය අර්බුධය සඳහා පිළියම් සෙවීමට පත් කරන ලද විද්වත් මණ්ඩලය මගින් සිදු කෙරුනු නිර්දේශයන් මත, ශ්‍රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය මූලිකත්වය ගෙන “ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය” පිහිටවනු ලැබීය.

2021

  • 7 වන “ග්ලෝබල් බිස්නස් අවුට්ලුක්” ජාත්‍යන්තර සම්මාන උළෙලේදී දකුණු ආසියානු කලාපයේ හොඳම නවෝත්පාදක ණය තොරතුරු කාර්යාංශය” ලෙස සම්මානයට පාත්‍ර විය.


2020

  • කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පොදු මහජනතාවට මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ තම ණය තොරතුරු වාර්තාව පරිශීලනය කිරීමට පහසුකම් සළසමින් ඔන්ලයින් iReport (ONLINE iReport) සේවාව හඳුන්වාදෙනු ලැබීය.


2019

  • 2019 ජනවාරි මස ශ්‍රී ලංකාවට ප්‍රථම වරට " ණය ළකුණ" (Credit Score) ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබීය.


2018

  • කාර්යාංශය විසින් ක්‍රෙඩිට් ඉන්ෆෝ ඉන්ටර්නැෂනල් සමාගම සමග නව ණය තොරතුරු කළමණාකරන පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ගිවිසුම් වලට එළැඹිනි.


2017

  • කාර්යාංශයේ සජීවී දත්ත මධ්‍යස්ථානය නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුකූලව ප්‍රතිස්ථාපනය කරනු ලැබීය.


2016

  • ක්ෂුද්‍ර මුල්‍ය ආයතන සඳහා විශේෂයෙන් සැළසුම් කරන ලද ණය තොරතුරු වාර්තාවක් 2016 නොවැම්බර් මස 01 වන දින නිකුත් කරනු ලැබීය.


2015

  • කාර්යාංශය 25 වන සංවත්සරය උත්සවාකාරයෙන් සමරන ලද අතර ණය තොරතුරු කළමණාකරන පද්ධතිය සංවර්ධනය කිරීමේ දෙවන අදියර සඳහා මුල පුරන ලදී .


2013

  • දකුණු ආසියානු කලාපයේ ප්‍රථම වරට තම ණය තොරතුරු වාර්තාව (Self Inquiry Report) අන්තර්ජාලය හරහා එසැණින් පරීක්ෂා කර බැලීමට “iReport online” සේවාව 2013 නොවැම්බර් මස සිට පොදු මහජනතාව වෙත ප්‍රදානය කරන ලදී.


2011

  • 2010 අංක 42 දරණ සුරක්ෂිතලත් ගණුදෙනු පනත යටතේ "සුරක්ෂිතලත් ගණුදෙනු ලේඛණය" පිහිටුවා පවත්වාගෙන යාමේ වගකීම කාර්යාංශය වෙත පැවරුන අතර 2011 අගෝස්තු මස පළමුවැනි දින සිට චංචල දේපල මත ණය ප්‍රදානය කිරීමේදී ඒවායෙහි සුරැකුම් බැඳියාව මෙහි ලෙඛණගත කිරීමට බැංකු හා මූල්‍ය ආයතන වලට ඉඩ ප්‍රස්ථාව සළසා දෙන ලදී.


2010

  • අගරු චෙක්පත් පිළිබඳ තොරතුරු කාර්යාංශය මගින් එක් රැස් කිරීම හා ණය තොරතුරු වාර්තාවල දැක්වීම 2010 ජනවාරි මස සිට ආරම්භ විය.


2009

  • කාර්යාංශයේ කාර්යභාරය සහ සේවාවන් තවදුරටත් සවිබල ගැන්වීමේ අරමුණු පෙරදැරිව කාර්යාංශ පනත වෙනුවෙන් ගෙන එන ලද සංශෝධිත කෙටුම්පත 2009 වර්ෂයේදී පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙය 2008 අංක 42 දරණ සංශෝධිත පනත ලෙස දැක්වේ. පුද්ගලයින් හෝ ව්‍යවසායන් හට තම ණය තොරතුරු වාර්තාව (iReport) කාර්යාංශය මගින් ඉල්ලුම් කර, තොරතුරු පරීක්ෂා කරබැලීමට අවශ්‍ය පහසුකම් සපයාදීමේ සේවාව 2009 වර්ෂයේ දෙසැම්බර් මස සිට ආරම්භ කරන ලදී.


2008

  • නවීකරණය කරන ලද ණය තොරතුරු පද්ධතිය හෙවත් "ණය තොරතුරු කළමණාකරන පද්ධතිය" (CRIMS) දියත් කිරීම වර්ෂ 2008 ජනවාරි මස පළමු වැනිදා සිදුවිය.


2006

  • කාර්යාංශය මෙහෙයුම් පද්ධති ස්වයංක්‍රීයගත කිරීමේ කටයුතු, ඒ සඳහා තාක්ෂණික සහකරු ලෙස කටයුතු කරන ඩන් ඇන්ඩ් බ්‍රැඩ්ස්ට්‍රීට් ඉන්ෆොමේෂන් සේවයේ (Dun & Bradstreet Information Services) සහභාගීත්වයෙන් වර්ෂ 2006 අගෝස්තු මසදී ආරම්භ කෙරිණි.


2005

  • ණය තොරතුරු කාර්යාංශය නවීකරණ ව්‍යාපෘතියේ (CRIB Modernization Project) මූලික සැළසුම් කටයුතු වර්ෂ 2005 නොවැම්බර් මස ආරම්භ කරනු ලැබීය.


2004

  • කාර්යාංශය විසින් ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේද සහාය ඇතිව ප්‍රථම "දකුණු ආසියානු ණය තොරතුරු කාර්යාංශ සම්මේලනය" 2004 මැයි මස කොළඹදී පවත්වනු ලැබීය.


1997

  • නොගෙවා පැහැර හරින ලද ණය කාඩ්පත් පිළිබඳ තොරතුරු එක් රැස් කිරීම සඳහා වෙනම පද්ධතියක් ස්ථාපනය කරනු ලැබීය.


1996

  • 1996 ජනවාරි මස 31 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ලවූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයත් සමග ණය තොරතුරු කාර්යාංශ කාර්යාලයද සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. එහෙත් ආරක්ෂාකාරීව ගබඩා කොට තබන ලද උපස්ථ (Data Backups) ආධාරයෙන් කාර්යාංශයේ මෙහෙයුම් කෙටි කාලයකදී සාර්ථකව නැවත ආරම්භ කිරීමට හැකිවිය.


1995

  • ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මහජන බැංකුවේ නීති උපදේශකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් 1992 දී කාර්යාංශ පනත වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සංශෝධිත කෙටුම්පත 1995 වසරේදී පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබීය. මෙය 1995 අංක 08 දරණ සංශෝධිත පනත ලෙස දැක්වේ. ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහයෝගීතා වැඩසටහන යටතේ ලීසිං පහසුකම්වල තොරතුරු වාර්තා කිරීම සඳහා වෙනම ලේඛණයක් පිහිටවනු ලැබීය


1993

  • එතෙක් අර්ධ වාර්ෂිකව යාවත්කාලීන කරන ලද ණය තොරතුරු මාසිකව යාවත්කාලීන කිරීමේ කටයුතු 1993 ජනවාරි මස පළමුවැනිදායින් ආරම්භ විය.


1992

  • අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය පරිදි කාර්යාංශය මගින් නිකුත් කරනු ලබන ණය තොරතුරු වාර්තා සඳහා ගාස්තු අයකිරීම 1992 ජනවාරි මස පළමු වැනිදා සිට ආරම්භ කරනු ලැබීය. සාමාජික මූල්‍ය ආයතන වෙත ෆැක්ස් මගින් නිකුත් කෙරෙන වාර්තාවක් සඳහා රු.35/- ක සහ තැපැල් මගින් යැවෙන වාර්තාවක් සඳහා රු.20/- ක මුදලක්ද ගෙවීමට නියමිත විය.


1991

  • බලපත්‍රලාභී මුල්‍ය සමාගම් 24ක් කාර්යාංශය සාමාජිකත්වය ලබාගනු ලැබීය.


1990

  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1987 දී පත්කළ විද්වත් මණ්ඩලයේ නිර්දේශයන්ට අනුව 610/5 දරණ ගැසට් නිවේදනය යටතේ 1990 මැයි මස 15 වන දින ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ විය.
  • 1990 අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත යටතේ ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස පිහිටවූ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සමාරම්භක අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 1990 ජුනි මස 06 වන දින පැවැත්වීමත් සමගම කාර්යාංශයේ මෙහෙයුම් කටයුතු ආරම්භ විය. කාර්යාංශයේ සමාරම්භක උත්සවය එවකට අග්‍රාමාත්‍ය ගරු ඩී බී විජේතුංග මැතිතුමා සහ මුදල් අමාත්‍යතුමා ඇතුඵ සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් 1990 අගෝස්තු මස 01 වන දින කොළඹ සෙලින්කෝ මන්දිරයේ සයවන මහලේදී පවත්වන ලදී.
  • කාර්යාංශයේ ප්‍රථම සභාපතිවරයා ලෙස එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ එස් ජී ටී ප්‍රනාන්දු මහතා පත් කරන ලද අතර ප්‍රථම සාමාන්‍යාධිකාරීවරයා ලෙස එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ජෙයෂ්ඨ නිළධාරියෙකු වූ ඩබ් ඒ විජේවර්ධන මහතා පත් කරනු ලැබීය.
  • 1990 නොවැම්බර් මස අවසන් වන විට මූල්‍ය අගය රු.500, 000/- ට වැඩි "අක්‍රමික ණය ගණුදෙනු" සඳහා වූ දත්ත පද්ධතිය ස්ථාපනය කරන ලද අතර කාර්යාංශයේ සාමාජික මූල්‍ය ආයතනවල ඉල්ලීම පරිදි ණය තොරතුරු වාර්තා නිකුත් කිරීම 1990 දෙසැම්බර් මස සිට ආරම්භ විය. මුල් කාල සීමාවේදී දිනකට ණය තොරතුරු වාර්තා විස්ස බැගින් ගාස්තු අයකිරීමකින් තොරව නිකුත් කරනු ලැබීය.