කාර්යාංශ පැතිකඩ
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය යනු

1990 අංක 18 දරණ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශ පනත (1995 අංක 08 සහ 2008 අංක 42 ලෙස සංශෝධනයට ලක්ව ඇත) යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය, දකුණු ආසියාවේ පිහිටුවන ලද පළමුවන ණය තොරතුරු කාර්යාංශයයි.

රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සාමූහික සහභාගීත්වයෙන් ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස පිහිටුවා ඇති ණය තොරතුරු කාර්යාංශයෙහි හිමිකාරත්වය ශ්‍රී ලංකා මහ බැංකුව, ලියාපදිංචි වාණිජ බැංකු, ලියාපදිංචි විශේෂ බැංකු, ලියාපදිංචි මූල්‍ය සහ ලීසිං සමාගම් විසින් දරනු ලැබේ.

දශක තුනකට අධික කාලයක් තිස්සේ රටෙහි බැංකු හා මුල්‍ය ක්ෂේත්‍රයෙහි ස්ථාවරත්වයට උරදෙමින් රටතුල ප්‍රශස්ත ණය සංස්කෘතියක් බිහිකරලීමෙහිලා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය සුවිශේෂී නිහඩ කාර්යභාරයක් ඉටුකරනු ලබයි. අප කාර්යාංශයේ සාමාජිකත්වය දරණ බැංකු හා මුල්‍ය ආයතන සහ පොදු මහජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පනත මගින් අප වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කිරීම අපගේ ප්‍රමුඛතම අරමුණයි.

නවීන තාක්ෂණය සමග අත්වැල් බැඳ ගනිමින් කාර්යංශයේ සාමාජික ණය දෙන ආයතන වෙත ඵලදායී හා කාර්‍යක්ෂම ණය තොරතුරු සේවා හා අගය එකතු කළ සේවාවන් සැපයීම සඳහා අප වගකීමෙන් බැඳී සිටිමු. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය තුල අක්‍රමික ණය පහත හෙලීමට සහාය වීම මගින් පහසුවෙන් හා ඉක්මනින් ණය ලබාගත හැකි පරිසරයක් ආර්ථිකය තුල නිර්මාණය වේ. එමගින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ආයෝජකයින් තුල පවතින විශ්වාසය ඉහළ නැංවී රටෙහි ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා මංපෙත් විවර වේ.

සාමාජික ආයතන 70 කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත අප කාර්යංශයේ පරිපාලන කටයුතු කාර්යංශයේ පනතෙහි විධි විධාන ප්‍රකාරව තෝරා පත්කර ගන්නා ලද අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් සිදුකෙරේ. කාර්යංශයේ සාමාජිකත්වය දරණ සියඵම බැංකු හා මුල්‍ය ආයතන නියෝජනය වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය තොරා පත්කර ගැනේ.


අපගේ දැක්ම
"අපගේ ගනුදෙනු කරුවන්හට හිතැති ණය තොරතුරු සමුදායක් ගොඩනැංවීමයි"

ණය කරුවන්ගේ සහ අනාගත ණයකරුවන්ගේ ණය හා මූල්‍ය තොරතුරු එක් රැස් කිරීම, සැසඳීම හා ගොණුගත කොට පවත්වාගෙන යාම අප කාර්යංශයෙහි ප්‍රමුඛතම කාර්යභාරය වේ. බැංකු හා මූල්‍ය ආයතන තම ගනුදෙනු කරුවන්හට ණය ලබාදීමේදී ගනු ලබන තීරණ නිවැරදි හා කාර්‍යක්ෂම කිරීමට අවශ්‍යය ණය තොරතුරු කලට වේලාවට සපයාදෙමින්, ආර්ථිකයේ සෑම අංශයකටම ණය ගලායාම පහසුකරවීමට සහාය වීම අපගේ වගකීමයි. නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් කාර්‍යක්ෂම හා තත්ත්වයෙන් උසස් ණය තොරතුරු සේවා වඩාත් සුරක්ෂිත ලෙස සැපයීමට අප කටයුතු කරන්නෙමු.

ණය සඳහා වගකීමෙන් බැඳි, යහපත් ණය ශක්‍යතාවයකින් හෙබි සමාජයක් බිහිකරලීම තුලින් පහසුවෙන් හා ඉක්මනින් ණය ලබාගත හැකි පරිසරයක් ආර්ථිකය තුල නිර්මාණය කිරීමට අප ඇප කැප වී සිටිමු.

දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම ණය තොරතුරු කාර්යංශය ලෙස, වසර 2025 වන විට ආසියා පැසිෆික් කලාපයේ සුවිශේෂී ස්ථානයකට පත්වීම අපගේ අරමුණයි!