දත්ත පිළිබඳ ආරවුල් නිරාකරණය

ඔබගේ ණය තොරතුරු වාර්තාවෙහි (iReport) දැක්වෙන තොරතුරුවල අඩු ලුහුඩුකම් / විෂමතාවන් (Disputes) පවතින බව හැඟේනම්, ඒවා වාර්තා කරන ලද බැංකු හෝ මූල්‍ය ආයතන හා සම්බන්ධ වෙමින් එම ආරවුල් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනයෙහිලා "දත්ත පිළිබඳ ආරවුල් නිරාකරණය" (Dispute Handling Process) කිරීමේ ක්‍රියාවලිය කාර්යාංශය මගින් හදුන්වා දී ඇත.

මෙම දත්ත පිළිබඳ ආරවුල්, බොහෝ විට බැංකු හා මූල්‍ය ආයතන විසින් ඔබගේ දත්ත තම පද්ධති තුලට ඇතුලත් කිරීමේදී සිදුවූ දත්ත කැවීම් වැරදි හෝ එම දත්ත කාර්යාංශය වෙත වාර්තා කිරීමේදී සිදුවූ තාක්ෂණික දෝෂයන් නිසා හටගත් ඒවා විය හැකිය. කාර්යාංශයේ සාමාජිකත්වය දරන බැංකු හා මූල්‍ය ආයතන, තමන් විසින් වාර්තා කරනු ලබන ණය තොරතුරුවල වලංගුභාවය හා නිවැරදිභාවය පිළිබඳ සම්පූර්ණ වගකීමට යටත් වේ.

දත්ත පිළිබඳ වූ ආරවුල් හට ගැනීමට හේතුවන පොදුවේ දැකිය හැකි සංසිද්ධීන්,
  • අදාල නොවන/වගකීමෙන් නොබැඳි ණය පහසුකම් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබීම.
  • නිවැරදි නොවන ණය ආපසු ගෙවුම් ඉතිහාසය සම්බන්ධ තොරතුරු වාර්තා වී තිබීම.
  • ණය පහසුකම්වල නිවැරදි නොවන තොරතුරු වාර්තා වී තිබීම.
  • නිසි පරිදි යාවත්කාලීන නොවූ ණය පහසුකම්වල තොරතුරු වාර්තා වී තිබීම.
  • නිවැරදි හෝ අදාල නොවන පෞද්ගලික/ආයතනික තොරතුරු වාර්තා වී තිබීම.
දත්ත පිළිබඳ ආරවුල් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ මාර්ගෝපදේශ
  • දත්ත පිළිබඳ වූ ආරවුල් ලියාපදිංචි කළ හැක්කේ ස්වකීය ණය තොරතුරු වාර්තාව (iReport) මත පදනම්ව පමණි.
  • බැංකු හා මුල්‍ය ආයතන විසින් ලබාගත් ණය තොරතුරු වාර්තා මත පදනම්ව දත්ත පිළිබඳ ආරවුල් ලියාපදිංචි කළ නොහැක.
  • ඔබගේ ණය තොරතුරු වාර්තාවෙහි (iReport) සඳහන් තොරතුරු සම්බන්ධයෙන් ආරවුල් ලියාපදිංචි කළ හැක්කේ පෞද්ගලිකව ඔබට පමනක් වන අතර ආයතනික ණය තොරතුරු වාර්තාවක (Corporate iReport) සඳහන් දත්ත සම්බන්ධයෙන් ආරවුල් ලියාපදිංචි කළ හැක්කේ ඒ සඳහා අයදුම්පත යොමු කළ අවසරලත් නිලධාරියා (අයිතිකරු/හවුල්කරු/ අධ්‍යක්ෂ) හට පමණි.
  • ඔබගේ ණය තොරතුරු වාර්තාව (iReport) සමග නිකුත් කෙරෙන "දත්ත පිළිබඳ ආරවුල් නිරාකරණය කිරීමේ පෝරමය" (Dispute Handling Form) භාවිත කර, දත්ත පිළිබඳ ඔබගේ ආරවුල් අප කාර්යාංශයෙහි ලියාපදිංචි කළ හැක.
  • ඔබගේ ණය තොරතුරු වාර්තාවෙහි (iReport) ඡායා පිටපතක අදාල දත්ත පිළිබඳ ආරවුල් පැහැදිළිව සළකුණු කොට ඉහත පෝරමය සමග අමුණා එවිය යුතු අතර මෙම ආරවුල් සම්බන්ධයෙන් අදාල අනෙකුත් ලියවිලි ඔබ සතුව පවතී නම්, එම ලියවිලිද මේ සමග අමුණා එවිය හැක.
  • සම්පූර්ණ කරන ලද දත්ත පිළිබඳ ආරවුල් නිරාකරණය කිරීමේ පෝරමය, ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබාගත් දින සිට දින 30ක කාලයක් තුල කාර්යාංශය වෙත ලැබීමට සැළැස්විය යුතුය.
  • iReport නිකුත් කර දින 30 කට පසුව ලැබෙන දත්ත පිළිබඳ ආරවුල් ලියාපදිංචි කිරීමේ පෝරමය (DHF), කාර්යාංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන අතර, ඒ බව iReport හිමිකරු වෙත දැනුම් දීමක් ද සිදුකරනු ලැබේ.
  • පවත්නා මාසයට අදාල ගනුදෙනු යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් සහ ස්වකීය ණය තොරතුරු වාර්තාවේ සඳහන් නොවන හෝ ඉදිරියේදී වාර්තා වීමට නියමිතව ඇති ණය තොරතුරු සම්බන්ධයෙන් ආරවුල් ලියාපදිංචි කළ නොහැක.
  • කාර්යාංශයෙහි ලියාපදිංචි කරන ලද දත්ත පිළිබඳ ආරවුල් එම දත්ත වාර්තා කරන ලද ණය දෙන ආයතන වෙත සුදුසු නිරාකරණ කටයුතු සඳහා යොමු කරනු ලබන අතර ඒ පිළිබඳව අදාල ආරවුල් ලියාපදිංචි කළ පුද්ගලයාහට හෝ ආයතනයට ලිඛිතව දැනුම් දෙනු ලැබේ.
  • ලියාපදිංචි කරන ලද ආරවුලක් විසඳීම සඳහා අවම වශයෙන් දින 14 ක කාලයක් අවශ්‍ය වේ.
  • දත්ත පිළිබඳ ආරවුල් නිරාකරණය මුළුමනින්ම රඳා පවතිනුයේ එම දත්ත වාර්තා කරන ලද ණය දෙන ආයතනයන් විසින් ඒ සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග සහ එයට දක්වනු ලබන ප්‍රතිචාර මත වේ.
  • දත්ත පිළිබඳ ආරවුල හෝ විෂමතාවය විසඳීමෙන් අනතුරුව සංශෝධිත ණය තොරතුරු වාර්තාවක් අදාල පාර්ශවයන් හට නොමිලේ නිකුත් කරනු ලබයි.
  • සංශෝධිත ණය තොරතුරු වාර්තාවෙහි අන්තර්ගත තොරතුරු සම්බන්ධයෙන් ආරවුල් හෝ විෂමතාවයන් ලියාපදිංචි කල නොහැක.
  • දත්ත පිළිබඳව ගොණු කළ ආරවුල් සමථයකට පත්වූ ආකාරය පිළිබඳව ඔබ තවදුරටත් සෑහීමට පත් නොවන්නේ නම්, එම ආරවුල් මූල්‍ය කටයුතු පිළිබඳ ඔම්බොඩ්ස්මන්වරයාගේ (Financial Ombudsman) අවධානය පිණිස යොමු කිරීමට ඔබට අවස්ථාව ඇත. මූල්‍ය කටයුතු පිළිබඳ ඔම්බොඩ්ස්මන්වරයාට පැවරී ඇති කාර්‍යභාරය යටතේ, යම් ගණුදෙනු කරුවෙකු හා මූල්‍ය ආයතනයක් අතර පවතින ආරවුලක් සමථයකට පත්කරලීමට ඔම්බොඩ්ස්මන්වරයාට බලතල ඇත. පහත සඳහන් තොරතුරු ඔස්සේ ඔබට මූල්‍ය කටයුතු පිළිබඳ ඔම්බොඩ්ස්මන්වරයා හා සම්බන්ධවිය හැකිය.

මූල්‍ය කටයුතු පිළිබඳ ඔම්බොඩ්ස්මන්වරයා
ඔම්බොඩ්ස්මන් කාර්යාලය
නො. 143, වජිර පාර
කොළඹ 05.

දුරකථනය 0112 595 624

ෆැක්ස් 0112 595 625

ඊ මේල් fosril@sltnet.lk

වෙබ් අඩවිය www.financialombudsman.lk