ණය තොරතුරු කළමනාකරණ පද්ධතිය

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය විසින් එහි නවීකරණ ව්‍යාපෘතියේ කොටසක් ලෙස ස්ථාපිත කොට දියත් කෙරුනු නවීන දියුණු තාක්ෂණයෙන් පිරිපුන් "ණය තොරතුරු කළමණාකරන පද්ධතිය" වර්ෂ 2006 - 2010 කාලය තුල බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය වෙත හදුන්වා දෙනු ලැබීය. මෙම නවීන "ණය තොරතුරු කළමණාකරන පද්ධතිය" මගින් කාර්යාංශයේ සාමාජිකත්වය දරන බැංකු හා මූල්‍ය ආයතනවලට මෙන්ම පොදු මහජනතාවටද ණය තොරතුරු සේවා සැපයේ. බැංකු හා මූල්‍ය ආයතන විසින් තම ගණුදෙනුකරුවන්ට ණය ප්‍රදානය කිරීමේදී ගනු ලබන තීරණ නිවැරදි හා කාර්‍යක්ෂම කරගැනීමට අවශ්‍ය තොරතුරු ඇතුලත් ණය තොරතුරු වාර්තා කඩිනමින් සැපයීම මෙම පද්ධතිය පිහිටුවීමෙහි මුඛ්‍ය පරමාර්ථයක් වේ.

මෙවන් සුවිශාල ආයෝජනයක් තුලින් කාර්යාංශය බළාපොරොත්තු වනුයේ එමගින් නිකුත් කෙරෙනු ලබන ණය තොරතුරු වාර්තාවල අඩංගු ණය හා මූල්‍ය තොරතුරුවල ගුණාත්මකභාවය තවදුරටත් ඉහල නංවා ගැනීමයි. කාර්ය මණ්ඩල ශ්‍රමය උපයෝගී කරගනිමින් දත්ත යාවත්කාලීන කිරීම හා ණය තොරතුරු වාර්තා නිකුත් කිරීම සිදු කෙරුනු පෙර පැවති මෙහෙයුම් පද්ධතිය නිසා පසු කාලීනව කාර්යාංශයට යම් යම් ව්‍යාකූලතාවයන්ට මුහුන පෑමට සිදුවිය. එවන් වූ තත්වයන් යටතේ ණය තොරතුරු කාර්යාංශයේ සේවාවන් කාර්‍යක්ෂමව පවත්වාගෙන යමින් කාර්යාංශය පිහිටුවීමේ අරමුණ සාක්ෂාත් කරගත හැක්කේ කෙසේද යන්න වඩාත් අභියෝගාත්මක කරුණක් විය. එය, එම සියළු ව්‍යාකූලතා මගහරවා ගත හැකි නවීන මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය වඩාත් ඉස්මතුවූ අවස්ථාවක් විය.

ජාත්‍යන්තරව පිළිගත් නවීන වෙබ් තාක්ෂණය සහ ණය තොරතුරු කාර්යාංශය පද්ධති ක්‍රමවේදයන් අත්පත් කරගැනීම මගින් නවීන ණය තොරතුරු කාර්යාංශයක් පිහිටුවීම හා සබැඳි බොහෝ තාක්ෂණික හා මෙහෙයුම් අභියෝග ජය ගැනීමට කාර්යාංශයට හැකිවිය. දියුණු තාක්ෂණික "දත්ත සුරැකුම් ක්‍රමවේදයන්" මගින්, කාර්යාංශය එක් රැස් කරනා මෙන්ම පවත්වාගෙන යනු ලබන ණය තොරතුරුවල සුරක්ෂිතභාවය තහවුරු කිරීමට අවශ්‍ය සියළු විධිවිධානයන් පහසුවෙන් ස්ථාපිත කොට පවත්වාගෙන යනු ලැබේ.