ඔබ වෙනුවෙන් අපගේ වගකීම

නවීන තාක්ෂණය සමග අත්වැල් බැඳ ගනිමින් කාර්යාංශයේ සාමාජික ණය දෙන ආයතන වෙත ඵලදායී හා කාර්යක්ෂම ණය තොරතුරු සේවා හා අගය එකතු කළ සේවාවන් සැපයීම අපගේ ප්‍රමුඛතම වගකීමක් වේ. බැංකු හා මුල්‍ය ක්ෂේත්‍රය තුල අක්‍රමික ණය පහත හෙලීමට සහාය වීම මගින් පහසුවෙන් හා ඉක්මනින් ණය ලබාගත හැකි පරිසරයක් ආර්ථිකය තුල නිර්මාණය කිරීම සඳහා අප නිහඬ කාර්යයභාරයක් ඉටුකරන්නෙමු.

බැංකු හා මුල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ආයෝජකයින් තුල පවතින විශ්වාසය ඉහළ නැංවීම තුලින් රටෙහි ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා මංපෙත් විවර කිරීම සහ අපගේ කාර්යමණ්ඩල වෘත්තිකයන්ගේ වෘත්තීමය ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා නිපුනතා ප්‍රවර්ධනය කිරීම සඳහා අප ඇප කැප වී සිටිමු.

ණය ගනුදෙනු කරුවන් මිලියන 8 කට අධික පිරිසකගේ ණය හා මුල්‍ය තොරතුරු අප විසින් එක් රැස්කොට සුරක්ෂිත ලෙස පවත්වාගෙන යන්නෙමු.

බැංකු හා මුල්‍ය ආයතන තම ගණුදෙනු කරුවන්ට ණය ප්‍රදානය කිරීමේදී ඔවුන්ගේ පෙර ණය ගණුදෙනු පිළිබඳවද විමසා බලයි. මෙම තොරතුරු ණය ඉල්ලුම්කරුගේ ණය ශක්‍යතාවය අධ්‍යයනයට මෙන්ම ණය අවධානම් කළමණාකරනය සඳහාද එම ආයතනවලට අතිශය වැදගත් වේ. ඔබ හට ණය ප්‍රදානය කිරීමේදී ගනු ලබන තීරණ නිවැරදි හා කාර්යක්ෂම කිරීමට මෙම තොරතුරු මනා කාර්යභාරයක් ඉටු කරයි.

ඔබගේ ණය තොරතුරු වාර්තාවෙහි අඩංගු පෙර ණය හා ආපසු ගෙවීම් පිළිබඳ තොරතුරු, ණය ශක්‍යතා අධ්‍යයන ක්‍රියාවලිය උදෙසා කාර්යක්ෂමව යොදාගත හැකි බැවින් ඒ සඳහා බැංකු හා මුල්‍ය ආයතනවලට දැරීමට සිදුවන පරිපාලන හා මෙහෙයුම් වියදම් අඩුවීම තුලින් ඔබගේ අවශ්‍යතාවයට සරිලන ණය පහසුකමක් කඩිනමින් පිරිනැමීමට අවශ්‍ය කටයුතු සැළසෙනු ඇත.

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ මෙම සේවාව නිසා, යහපත් ණය ශක්‍යතාවයකින් හෙබි, ණය සඳහා වගකීමෙන් බැඳි ණය ඉල්ලුම්කරුවන් සඳහා තරඟකාරි වටපිටාවක් තුල වාසිදායක කොන්දේසි යටතේ ප්‍රමුඛ හා කාර්යක්ෂම සේවාවක් සැළසෙනු ඇත.

යහපත් ණය ශක්‍යතාවයකින් හෙබි, ණය සඳහා වගකීමෙන් බැඳි සමාජයක් ගොඩනැංවීම අපගේ අරමුණයි!